ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම


බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ මෙරට ජාතික උරුමයන් හඳුනා ගැනීම, සංරක්ෂණය කිරීම සහ අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් ප්‍රථම වරට ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ ජාතික නාමල් උයන හඳුන්වාදී වසර 35ක් පිරිම සැමරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර 602ක් පුරා විහිදුණු ජාතික නාමල් උයන ජාතික, ආගමික, පාරිසරික සහ භූගෝලීය වටිනාකම් රැසක් එක්වී ඇති අද්විතීය ස්ථානයකි. එහි නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීම මත, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මෙම සුවිශේෂී පරිසර උරුමය සුරක්ෂිත කරමින් මතු පරපුර වෙත දායාද කිරීමේ ජාතික වගකීම සියලුදෙනා වෙත පැවරී ඇති බවයි.

එදා මෙදා තුර ජාතික නාමල් උයන ආරක්ෂා කර ගනිමින් එය සංවර්ධනය කිරීමට පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් සිදු කරනු ලබන කැපවීම මෙහිදී ජනාධිපතිවරයා කෘතවේදීව අගය කළේය.

ජාතික නාමල් උයන 35 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මුල් දින කවරයද, ‘ජාතික නාමල් උයන ශාස්ත්‍රීය සංග්‍රහයද’ පුජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් සඳහන් කළේ මෙම අවස්ථාව වත්මන් රජය ඉටු කළ විශිෂ්ටතම පාරිසරික සේවාව ලෙස ඉතිහාසයට එක්වන බවයි.

මෙම වැඩසටහන හෙට (27) ජාතික නාමල් උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබුණද රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ එය ජනාධිපති කාර්යාලයේදී සිදු කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා අගය කරන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

රට ගොඩනැඟීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුළ ඇති වුවමනාව මේ රටේ ජනතාවද පිළිගෙන ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ සියලුදෙනා ඒකරාශී කර ගනිමින් මේ වන විට රට හමුවේ මතුව ඇති අභියෝගයට විසඳුම් සෙවිය යුතු බවද පෙන්වා දුන්හ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමිපාණන් වහන්සේ

1991 මාර්තු මස 28වන දා මම ජාතික නාමල් උයන කියන සුන්දර වනස්පතියට ගොස් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් විශාල කැපකිරීමකින් යුතුව කටයුතු කළා. ප්‍රදේශයේ හාමුදුරුවරු සහ ජනතාව මට විවිධ චෝදනා එල්ල කරමින් අපහාස කළා. මට විරුද්ධව පත්තර පිටු ගණන් ලිව්වා. නමුත් මම සැලුණේ නැහැ.

හැබැයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සමයේ බර්ට් ප්‍රේමලාල් දිසානායක මහත්තයා මට උදව් කළා. අද විදුලිය ලැබිලා තිබෙන්නේ එතුමා නිසා. ඒ වගේම චන්ද්‍රිකා මැතිනියගෙන් පසු බලයට පත්වූ සියලු ජනාධිපතිවරුන්ගෙන් මට උදව් ලැබුණා. මම ඒ කිසිවෙකුගෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. හැබැයි මට ඕන තැනකට යන්න දොරවල් විවෘත වෙලා තිබෙනවා. මොකද මම කාටවත් වැරදි කරන්නේ නැහැ.

අද ඔබතුමාගේ සේවා කාලය තුළ ජාතික නාමල් උයන පිහිටි ප්‍රදේශයේ මාර්ග හොඳින් සංවර්ධනය කර තිබෙනවා.ඒ පිළිබඳ සියලුදෙනාට මම පිං දෙනවා. ඒ වගේම ජාතික නාමල් උයන ශ්‍රි ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කිරිමට කැපවීමෙන් කටයුතු කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිතුමාට සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහත්තයාට මම කෘතවේදීත්වය පිරිනමනවා. ඒ වගේම රෝෂන් ගමගේ මහත්තයා ඇතුළු නිලධාරින් එම කටයුතු හොඳින් කළමනාකරණය කර දුන්නා. එමෙන්ම මෙම කටයුත්ත සඳහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය පුළුල් ප්‍රචාරණ දායකත්වයක් ලබා දුන්නා. එය මම ඉතා අගය කරනවා.

මේ ජාතික නාමල් උයන මගේ දේපොළක් නෙවෙයි. මම මෙහි මුරකාරයෙක් පමණයි. ඒ නිසා මගෙන් පසුව මෙය මධ්‍යම සංස්කෘතික අරමුදලට භාර දීමට මම කල්පනා කළා. එම වැඩකටයුතු හොඳින් කරගෙන යනවා. ඒ වගේම මෙම ස්ථානය ගංගාරාමයට සම්බන්ධ කර ජනාධිපති ලේකම්තුමා, වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්තුමා, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමා ආදී නිලයන් මට්ටමින් මෙම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මම කල්පනා කළා. නැත්නම් මම නැති කාලයක මෙය විනාශ විය හැකියි.

මම මේ රට වෙනුවෙන් යමක් කළා. මම මේ රටට, ජාතියට ණය නැහැ. මගෙන් ඉටුවිය යුතු උපරිම කාර්යභාරය වන්නේ මෙහි සුරක්ෂිතතාව සහතික කර දීමයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අල්ලපු ගමේ ජන්මලාභය ලැබූ කෙනෙක් ලෙස අද ඔබතුමා අතින් මෙය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට ලැබිම ගැන මම ඉතාමත් සතුටු වෙනවා.

ඒ වගේම පලාගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දෙකක් සහ රෝහල් දෙකක් තිබෙනවා. එම අහිංසක ජනතාව වෙනුවෙන් එම එක් පාසලක් සහ රෝහලක් අංග සම්පූර්ණ පාසලක් සහ රෝහලක් ලෙස පරිවර්තනය කර දෙන්න කියා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ. සෙනරත් වික්‍රමසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර යන මහත්වරු අතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related News

Sri Lanka was deeply honoured to host the sacred Devnimori relics for seven days, allowing people across the country to pay homage and venerate them, Minister of Foreign Affairs, Foreign Employment and Tourism, Vijitha Herath has stated.
UNESCO recognition boosts Sri Lanka’s traditional kithul palm tapping, a heritage craft facing labour shortages and adulteration but offering export potential
The National Heritage Division of the Ministry of Cultural Affairs has initiated the process of identifying and listing Sri Lanka’s national heritage sites, along with drafting new legislation to protect them.

ප්‍රධාන පුවත

ශ්‍රී සර්වඥ ධාතූන් දකුණින් උතුරට වැඩම කරවීම 'වෙසක් නෑගම' හුණුපිටිය ගංගාරාමයෙන් ඇරඹෙයි.

ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය සංවිධානය කරනු ලබන 'ධර්ම ශක්ති පූජා' වෙසක් වැඩසටහන හුණුපිටිය ගංගාරාම සීමා මාලකය අභියසින් අද ආරම්භ විය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය එළඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ධර්මශක්ති පූජා වෙසක් 2026 - යාපනය

ජාතික සමගිය හා සංස්කෘතික සම්මිශ්‍රණය පිලිබඳ විශේෂ අවධානය යොමු වූ මේ වසරේ දී මෙම වැඩසටහන යාපනය ශ්‍රී නාග විහාරය කේන්ද්‍ර කරගනිමින් මැයි මස 30,31 ජුනි මස 01 දින යන තෙදින තුල වඩාත් උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වීමට ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය තීරණය කොට තිබේ.

The Dharma Shakti Puja Vesak festival 2024

The Dharma Shakti Puja Vesak festival of community brotherhood organized by the General Conference for the Preservation of National Heritage will be held in Batticaloa this year in cooperation with the Ministry of Public Security, the Ministry of Buddha Sasana, Religious and Cultural Affairs, and Batticaloa Civil Organizations.

ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම

ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම